counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


13න් රට බෙදෙන්නේ නෑ !

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරන උතුරු හා නැගෙනහිර පළාත්වල මෙන්ම දකුණේ ද ඇතැම් දේශපාලනඥයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්බන්ධයෙන් දක්වන අදහස් පිළිබඳව දකුණේ ජනතාව කලබල විය යුතු නැති බව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්  පැවසීය.

ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳිය හැකි වන්නේ දෙපාර්ශ්වයේම විශ්වාසය හා අවබෝධය තුළින් පමණක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මඟින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සියලු දෙනාට සාධාරණ විසඳුමක් ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් එමඟින් රට බෙදීමක් කිසිසේත් සිදු නොවන බවත් ඔහු සඳහන් කළේය.

ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට – සැවොම එක මඟකට’ මැයෙන් අද (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ කැඳවා සර්ව පාක්ෂික සමුළුවක් ද පැවැත්වූවා. හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි, ජේ.ආර්. ජයවර්ධන යන මහත්වරුන් 13 වැනි සංශෝධනය හඳුන්වා දෙන සමයේ දී එවකට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වූ වත්මන් ජනාධිපතිවරයා බලය බෙදාහැරීම සම්බන්ධ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

බලය බෙදාහැරීම තුළින් රට දෙකඩ වන බවට දකුණේ ඇතැම් දේශපාලන නායකයන් ද ප්‍රකාශ කරනවා. එසේම උතුරු හා නැඟෙනහිර දේශපාලන නායකයන් ද පූර්ණ බලය බෙදීමක් ඉල්ලා සිටිනවා. මේ දෙපාර්ශ්වයම කටයුතු කරන්නේ දැඩි ස්ථාවරයක සිටයි. ඒ නිසා මම විශ්වාස කරන්නේ දෙපාර්ශ්වයම මධ්‍යස්ථ ප්‍රවේශයකින් යුතුව සුහදව සාකච්ඡා කර මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීම මේ රටේ ඉදිරි ගමනට වඩාත් සුදුසු බවයි.

උතුර හා නැගෙනහිර නියෝජනය කරන ඇතැම් දේශපාලනඥයන් මෙන්ම දකුණේ ඇතැම් දේශපාලඥයන් ද පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් දකුණේ ජනතාව කලබල විය යුතු නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් රට බෙදීමක් සිදු වන්නේ නැහැ. එමගින් සිදුවන්නේ සියලු පළාත්වලට සමානව බලය බෙදී යාමක් පමණයි.

මෙම ගැටලුවට ස්ථීර විසඳුමක් ලබාදිය හැකි වන්නේ දෙපාර්ශ්වයම විශ්වාසය හා අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීම තුළින් පමණයි. ඒ නිසා ඒ සඳහා සහයෝගය ලබා දෙන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා. ඒ අනුව නැගෙනහිර පළාත නියෝජනය කරන පක්ෂයක් ලෙස අපේ මතය ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටිනවා.

රටක් සංවර්ධනය කිරීමේදී මාර්ග පද්ධතිය ඉතා වැදගත් සාධකයක්. කෙසේ වෙතත් මේ වන විට රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මාර්ග සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන් කිරීම අපහසු වී තිබෙනවා. දැනට අමාත්‍යාංශය සතු ප්‍රතිපාදනවලින් මාර්ග සංවර්ධන කටයුතු හැකිතාක් දුරට සිදු කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. නමුත් එම ප්‍රතිපාදන මේ වන විටත් ලැබී තිබෙන සියලු ඉල්ලීම් ඉටු කිරීමට ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ඉදිරියේදී මාර්ග සංවර්ධන කටයුතු සඳහා විදේශීය ආධාර ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

මීට අමතරව රටේ සංචාරක කලාප සංවර්ධනය, අපනයන වගාවන් ප්‍රවර්ධනය, මත්ස්‍ය කර්මාන්තය හා දේශීයව වගා කළ හැකි ධාන්‍ය වගාව ආදී විවිධ වැඩසටහන් සැලසුම් කර තිබෙනවා.

නැගෙනහිර පළාතේ කජු වගාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා. භාවිතයට ගෙන නොමැති රජයේ ඉඩම් ඒ සඳහා යොදා ගැනීමට නියමිතයි. ඒ වෙනුවෙන් විදේශ ආයෝජන ලබාගැනීමට දැනටමත් කටයුතු කර තිබෙනවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x