counter customizable free hit
31 C
Colombo
Saturday, July 27, 2024


කෝප්පයකට මවු කිරි දොවා බිලිඳිය සැමියාට භාරදී පැන ගිය මව අත්අඩංගුවට

මවු කිරි දොවා තබා වයස මාස තුනහමාරක් වූ බිලිඳියක සැමියාට භාර දී පැනගිය මවක් අත්අඩංගුවට ගෙන රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී බිලිඳිය මවට භාර දෙන ලෙසත් නිතිපතා ඒ අයව අධීක්ෂණය කරන ලෙසත් බුලත්කොහුපිටිය පොලිසියට මහේස්ත්‍රාත් කාංචනා පෙරේරා මහත්මිය ඊයේ (03) නියෝග කළාය. මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ බුලත්කොහුපිටියේ පදිංචිව සිටින 23 හැවිරිදි එක්දරු මවකි.

බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින තරුණයකු ඇයව දැන හඳුනාගෙන ඇති වූ ප්‍රේම සම්බන්ධයක් මත සිය නිවෙසට ඇයව කැන්දාගෙන ගොස් ඇත්තේ 2022 වර්ෂයේ මුල් කාලයේදීය. එහෙත් දෙදෙනා නීත්‍යනුකූලව විවහා වී සිට නැති බව පොලිසිය කියයි.

ඇය ගැබිනියක් බවට පත් වූ අවස්ථාවේදී ඒ ගැන සැමියාට පවසා ඇතත් දෙපාර්ශ්වයේ මවුපියන්ට ග්‍රාමයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට හෝ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින්ව දැනුවත් කර නැති බව පොලිසිය පවසයි.

මෙම කාන්තාව ගැබිනියක් වූ පසු කිසිදු වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් වී නැති අතර දරුවා බිහි කිරීම සඳහා ඇතුළත් වී ඇත්තේ කරවනැල්ල මූලික රෝහලටය. ඇය 2023 නොවැම්බර් 27 වැනිදා නිරෝගිමත් බිලිඳියක බිහි කර ඇති බව පොලිසිය පැවසීය.

මෙම කාන්තාවගේ සැමියා විසින් මව හා බිලිඳිය ඔහුගේ නිවෙසට රැගෙන ගොස් සිටියදී මාස දෙකක් පමණ ගත වූ අවස්ථාවේදී ඔවුන්ගේ මවුපියන් මැදිහත් වී යුවළ විවාහ කරදී ඇති බවත් පොලිසිය සඳහන් කළේය. පසුගිය 2024 පෙබරවාරි මස 25 වැනිදා අලුයම තුනට පමණ මෙම කාන්තාව කෝප්පයකට කිරි දොවා තබා බිලිඳිය අතහැර දමා හොර රහසේ නිවෙසින් පිටව ගොස් තිබේ. බිලිඳියගේ පියා වන ඇගේ සැමියා මේ ගැන බුලත්කොහුපිටිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ බිරිය නිවෙසින් අතුරුදන්ව ඇති බව කියමිනි.

පොලිසිය ඇය ගැන තොරතුරු සොයා බලා ඇතත් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත. මසක් පමණ ගිය අවස්ථාවේදී කාන්තාව තමන් මාවනැල්ල හෙම්මාතගම පාරේ පරණගම ප්‍රදේශයේ සිටින බව දන්වා සැමියාගේ දුරකතන අංකයට කෙටි පණිවිඩයක් ලබා දී තිබේ. පසුව සැමියා කීප අවස්ථාවකදීම ඇය ජීවත්ව සිටින ස්ථානය සොයාගෙන ගොස් යළි නිවෙසට රැගෙන ඒමට උත්සාහ දරා තිබුණ ද එය සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ වී තිබේ. පසුව පෙරේදා (02) සැමියා ත්‍රිරෝද රථයකින් මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ පරණගම ප්‍රදේශයට ගොස් කිසිවකු නොසිටි නිවෙසක සිටියදී බිරිය සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය. තමන්ට නිවෙසට යෑමට නොහැකි බවත් දරුවා හදා වඩා ගැනීමට තමන්ට නොහැකි බවත් සැමියා හමුවේ කාන්තාව පවසා තිබේ.

“ගෙදරට යන්න බැරි නම් යහළුවකුගේ නිවෙසකට හරි යමු යැයි පවසා කාන්තාව ත්‍රිරෝද රථයෙන් රැගෙන බුලත්කොහුපිටිය පොලිසියට රැගෙනවිත් සැමියා විසින් භාර දී ඇති බවත් පොලිසිය පැවසීය. බිලිඳිය ඊයේ (03) බුලත්කොහුපිටිය පොලිසිය මඟින් කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය බණ්ඩාරගේ සංජය මහතා වෙත ඉදිරිපත් කෙරිණි.

මව ඊයේ (03) රුවන්වැල්ල මහේස්ත්‍රාත් කාංචනා පෙරේරා මහත්මිය වෙත ඉදිරිපත් කෙරිණි. එහිදී මහේස්ත්‍රාත්වරිය ඇයට නියෝග කර ඇත්තේ බිලිඳිය යළි භාරගෙන හදා වඩා ගන්නා ලෙසටය. ඒත් සමඟින් බුලත්කොහුපිටිය පොලිසියට නියෝග කර ඇත්තේ බිලිඳියට හිරිහැර නොකර ඇය රැක බලා ගන්නවා ද නැද්ද පිළිබඳ නිතිපතා සොයා බැලීමක් සිදු කරන ලෙසටය. 

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x