counter customizable free hit
29 C
Colombo
Sunday, September 8, 2024


ලබන මස වන විට රට බංකො­ලොත්බවෙන් නිද­හස්

ලබන මාසය වන විට රට බංකොලොත්භාවයෙන් නිදහස් වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අදාළ රටවලින් ඊට අවශ්‍ය ප්‍රතිචාරය මේ වන විට දක්වා තිබෙන බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා තව විශාල වැඩකොටසක් පැවරී තිබෙන බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ 2024 අය වැය යෝජනාවක් වන “උරුමය” වැඩසටහන පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර අනුරාධපුර නොච්චියාගම දී ඊයේ (26) ආරම්භ කරමිනි.

ෂැංග්‍රිලා හෝටලය සතු ඉඩම සින්නක්කරව පැවරීමට හැකියාව තිබුණේ නම් පරම්පරා ගණනක් අපේ රටේ ගොවිතැන් කළ ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීමේ වරද කුමක්දැයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

ෂැංග්‍රිලා සතු ඉඩමෙන් ශ්‍රී ලංකාවට ද විදේශ විනිමය ලැබෙනවා සේම නවීන කෘෂි කර්මාන්තය තුළින් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. රටේ ගොවිතැන් කරන ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීම ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ උරුමය ලබාදීමක් මෙන්ම රජයේ ස්තුතිය පුදකිරීමක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

“උරුමය” සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා 2024 අය වැයෙන් රුපියල් බිලියන දෙකක මුදලක් වෙන් කර තිබේ.

විදේශිකයන් ශ්‍රී ලංකාවේ ඉඩම් ඔවුන්ගේ යටතට පත්කර ගැනීමෙන් පසුව එම ඉඩම්වල වගා කිරීම සඳහා මෙරට ස්වදේශික ජනතාව වෙත බලපත්‍ර ලබාදීම සිදු කර තිබිණි.

නමුත් 1935 වසරේ ඉඩම් සංවර්ධන ආඥා පනත මඟින් ස්වදේශිකයන් වෙත ඉඩම් ඔප්පු ලබා දීම සඳහා තවත් බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දී තිබූ අතර, එහිදී ඉඩම් හිමි ජනතාවට වගා කටයුතු කිරීම සහ නිවාස ඉදිකර ගැනීමට හැකියාව තිබේ. නමුත් එම ඉඩම පැවරීමේ හෝ විකිණීමේ බලයක් ඉඩම් හිමි ජනතාවට නොතිබිණි.

මෙතෙක් කල් පැවති ජය භූමි, සෞම්‍ය භූමි, ස්වර්ණ භූමි ඇතුළු සියලු ඔප්පු වෙනුවට සින්නක්කර ඔප්පු ජනතාවට ලබා දීම 2024 අය වැයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබේ.

ඒ අනුව මෙම ඔප්පු ලබා ලබාදීමේ වැඩපිළිවෙළ 2024 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අද මෙතනට රැස් වුණේ මෙම ප්‍රදේශයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම පිළිබඳව සාකච්ඡා කිරීමටයි. පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව සියලු දෙනා අද මෙතනට රැස්වී සිටිනවා. අද අපට තිබෙන්නේ රටට වැඩ කිරීමටයි.

මම ආණ්ඩුව භාර ගන්නා විට රට කඩා වැටිලා තිබුණේ. අද තිබෙන තත්ත්වයට අපට රට ගෙන ඒමට හැකි වෙයි කියා කිසිවෙකුත් සිතුවේ නැහැ. ලබන මාසය වන විට අප රට බංකොලොත්භාවයෙන් නිදහස් වීමට නියමිතයි. අදාළ රටවලින් ඊට අවශ්‍ය ප්‍රතිචාරය මේ වන විට දක්වා තිබෙනවා. එය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අපට තව විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා.

මීට පෙර ආණ්ඩු හැදුවේ එක් පක්ෂයක සහාය මතයි. නමුත් මට සෑම පක්ෂයකින්ම සහාය ලබා ගැනීමට සිදු වුණා. එලෙස කණ්ඩායමක් සමඟ අප මෙම ගමන ආවා. ඒ පිළිබඳ අප සියලු දෙනාට සෑහීමකට පත්විය හැකි අතර, වරද කාගේ වුණත් අප දැන් අපේ වගකීම ඉටු කර තිබෙනවා.

මෙම ආර්ථික අර්බුදය හමුවේ අපට සංවර්ධන කටයුතු නැවැත්වීමට සිදු වුණා. දැන් බංකොලොත්භාවය අවසන් වන නිසා අපට එම නවතා තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනවා.

ඒ වගේම මෙම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මල්වතු ඔය සහ මහා විහාරයේ වැඩකටයුතු ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන් ලුම්බිණියේ මායා දේවි විහාරස්ථානයේ කැණීම් කටයුතු සිදු කළ විශ්වවිද්‍යාලය සමඟ මහා විහාරයේ කැණීම් කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරනවා. මල්වතු ඔය කියන්නේ සිංහල ශිෂ්ටාචාරය ආරම්භ වූ තැනයි. මහා විහාරය කියන්නේ ථේරවාද බුදු දහමේ කේන්ද්‍රස්ථානයයි. මේ ස්ථාන දෙක ආරක්ෂා නොකර කුමන සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කළත් වැඩක් නැහැ. ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන එකහමාරක් මෙවර අය වැයෙන් ලබා දී තිබෙනවා. මෙහි අරමුණ වන්නේ ගම්බද පාසල්වල ක්‍රිකට් දියුණු කිරීම මඟින් අනාගතයට අවශ්‍ය ක්‍රීඩකයන් නිර්මාණය කිරීමයි.

අප ආර්ථික ක්‍රමයේ වෙනසක් ඇති කළා. ඒ වගේම සමෘද්ධිය වෙනුවට අස්වැසුම ඇතිකර ජනතාවට ලබාදෙන මුදල් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කළා. කෘෂි කර්මාන්තය වෙනුවෙන් ලබාදෙන මුදල් ගොවි ජනතාවගේ බැංකු ගිණුම් වෙතම යොමු කළා.

ගොවි ජනතාවට ඉඩම් සින්නක්කරව ලබා දෙනවා වගේම නාගරික ප්‍රදේශවල කුලී පදනම මත මහල් නිවාසවල සිටින ජනතාවගේ නිවාස සින්නක්කරව එම ජනතාවට ලබාදීමටත් යෝජනා කර තිබෙනවා. මෙතන සිටින ගොවි ජනතාවගේ දෙමවුපියන් 60 දශකයේ දී මැලේරියාව නිසා දුක් වින්දා. ඉන් පසුව ත්‍රස්තවාදී කරදර නිසා දුක් වින්දා. නමුත් ඔවුන් ගොවිතැන අමතක කළේ නැහැ. රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය ඔවුන් දිගටම සිදුකරගෙන ගියා. එයට කරන ජාතියේ ස්තුතියක් ලෙස තමයි මෙම සින්නක්කර ඔප්පු ප්‍රදානය සිදු කරනු ලබන්නේ.

තමන්ට ස්වර්ණ භූමි, ජය භූමි ඔප්පු තබා ගැනීමට අවශ්‍ය නම් එලෙසම සිටිය හැකියි. අවශ්‍ය කෙනෙකුට සින්නක්කර ඔප්පුව ඉල්ලුම් කළ හැකියි. මෙම සින්නක්කර ඔප්පු ලබා දීම ලබන වසරේ මුල් කාර්තුවේ සිට ක්‍රියාත්මක කරනවා.

ලෝකය දියුණු වන විට නවීන ක්ෂේත්‍රයන් වෙත යොමු විය යුතුයි. එහිදී අපගේ අපනයන ක්ෂේත්‍රය දියුණු කළ කෘෂිකර්මාන්තය පිළිබඳවත් නැවත නවීන ලෙස සිතිය යුතුයි. 1972 අපනයන කෘෂි කර්මාන්තය බිඳ වැටුණා. දැන් මෙවර ලබා දෙන සින්නක්කර ඔප්පු සමඟ අපනයන කෘෂිකර්මාන්තය දියුණු කිරීමට වැඩ කළ යුතුයි.

මෙහිදී වගා කරන නිෂ්පාදන බෙදා හැරීමට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙනුවට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කළ යුතුයි. වගා කරන භෝග කල් තබා ගැනීමේ හැකියාව සහ අවශ්‍ය නම් අපනයනය කිරීමට ඇති හැකියාවත් එහිදී තීන්දු කළ හැකියි. ඊළඟ වසර දහය තුළ ලෝක ජනගහණය ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. ඊට අවශ්‍ය ආහාර සැපයීම සිදු කිරීමෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකියි. මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. සෑම ගමක්ම අපනයන ගම්මානයක් ලෙස දියුණු කර අපනයන ආර්ථිකයට එක් කිරීම මගින් විශාල විදේශ විනිමයක් ලබාගත හැකියි.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා,

ලංකාවේ නීතිය වල් වැදිලා තිබුණු වෙලාවක එම අභියෝගය භාරගෙන ආර්ථික අභියෝගයෙන් රට මුදවා ගැනීමට ජනාධිපතිවරයා ගෙන ගිය කාර්යභාරය ප්‍රශංසනීයයි.

අද වැව් බැඳි රටට ජනාධිපතිවරයා පැමිණ සිදු කරන උරුමය වැඩසටහනෙන් මේ රටේ ගොවි ජනතාවගේ ඉඩම්වල අයිතිය කොන්දේසි විරහිතව ලබා දීමක් සිදු වෙනවා.

ජනාධිපතිවරයා මෙරට ආර්ථිකය නිසි දිශානතියකට ගෙන ආවා වගේම ලෝකයෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ස්ථානය නැවත ලබා දීමට කටයුතු කළා. එතුමාගේ දේශපාලන ජීවිතයේ පරිණතභාවය එයින් පැහැදිළි වෙනවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x