counter customizable free hit
28 C
Colombo
Saturday, September 21, 2024


අවධානයෙන් ඉන්න: ඔබටත් මේ කෝල් එක ආවාද?

පාසලේ සිටින දරුවා හදිසියේම රෝගාතුර වී රෝහල් ගත කළ බවට පාසලෙන් දැනුම් දෙන ආකාරයට දෙමාපියන්ට දැනුම්දී ඔවුන් රවටා මුදල් වංචා කරන සහ නිවාස බිඳ සොරකමෙහි නිරත කල්ලියක් සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය 08 වැනිදා කුරුණෑගල නගරයේ ප්‍රධාන බාලිකා විදුහලක ඉගෙනුම ලබන සහෝදරියන් දෙදෙනකුගෙන් එක් අයකු පාසල් නොපැමිණි අතර අනෙක් සහෝදරිය පාසල් ගොස් තිබිණි.

ඔවුන්ගේ පියා කුරුණෑගල බැංකුවක සේවය කරන අතර නිවසේ සිටි දියණිය ඔහුට ඇමතුමක් ගෙන කියා තිබුණේ පාසල් ගිය තම නැගණිය හදිසියේම රෝගාතුරව සිටින බවට පාසලේ ගුරුවරයකු විසින් දුරකථනයෙන් දැනුම් දුන් බවයි.

වහා ක්‍රියාත්මක වූ පියා පණිවුඩය දැනුම් දුන් දුරකථනයට ඇමතුමක් ලබා ගත් විට ඊට පිළිතුරු දුන් ගුරුවරයා යැයි හඳුන්වා දුන් තැනැත්තා පවසා තිබුණේ ඔහුගේ දියණිය ඒ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය මහනුවර මහ රෝහලට ගිලන් රථයකින් රැගෙන ගිය බවයි.

ඒ සම්බන්ධයෙන් පාසලෙන් කිසිදු විමසීමක් නොකර පියා තම බිරිඳ ද සමග කාර්යාලය වෑන් රථයෙන් මහනුවර බලා පිටත්ව ගොස් ඇත.

ඒ අතර එම බැංකුවේම සේවය කළ ඔවුන්ගේ සමීපතම හිතවතෙකු මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකයක් ඇති කරගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලට කතා කොට විමසා ඇත්තේ මෙවන් ගැහැනු දරුවකු රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්ද , ඇයගේ සෞඛ්‍ය තත්ත්වය කෙසේ ද යන්නයි.

එවිට රෝහලෙන් ලබාදී තිබූ පිළිතුර වූයේ එවන් දරුවකු නගරයේ කිසිදු පාසලකින් රෝහලට ඇතුළත් කර නැති බවය. මෙම තොරතුරු දැනගත් මිතුරා වහා ක්‍රියාත්මකවී අදාළ බාලිකා පාසලෙන් විමසා සිට ඇත්තේ මෙවන් දරුවකු පාසලේ සිටි ද නැත්නම් රෝහල්ගත කර ඇත්ද යන්නය. එවිට පාසලෙන් ලැබී තිබූ පිළිතුර වූයේ එම දරුවා කිසිදු ගැටලුවකින් තොරව මේ වන විට පාසලේ පන්ති කාමරය තුළ ඉගෙනුම් කටයුතු කරමින් සිටින බවයි.

මෙම සිද්ධිය වූ දිනයේම කුරුණෑගල නගරයේ තවත් ප්‍රධාන පිරිමි පාසලක ඉගෙනුම ලබන සිසුවෙකුගේ පියාටද මෙවැනිම දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව පොලිසිය සඳහන් කරයි.

පාසලේ ගුරුවරුන් ලෙස රඟපාමින් දුරකථන ඇමතුම් ලබා දෙන මෙම වංචාකාරි කල්ලිය ලබා දෙන දුරකථන පණිවිඩවලට රැවටී කලබලයට පත්ව තොරතුරු සොයා නොබලා මුදල් ලබාදී ඇති පුද්ගලයන් සිටින බවද තවත් අය දරුවන් පිළිබඳව සොයා බැලීම සඳහා පාසල් කරා ගිය අවස්ථාවේදී ඔවුන්ගේ නිවෙස් බිඳ සොරකම් කළ අවස්ථාද වාර්තාවී තිබෙනවා.

මෙවැනි ව්‍යාජ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙසද ඒ පිළිබඳව දැනුවත්ව කටයුතු කරන ලෙසද පොලිසිය ජනතාවට දන්වා සිටී.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x