counter customizable free hit
28 C
Colombo
Saturday, July 27, 2024


උපාධිධාරී පෙම්වතා සංවර්ධන නිලධාරිනියගේ ගෙල කපා මරා දමයි

නංගි සාමාන්‍යයෙන් හැමදාම හයයි කාල විතර වෙද්දි ගෙදරට එනවා. එදා එන්න පරක්කු වෙන නිසා මම හැම තැනම හොයලා හොයලා බැරිම තැන ගිහින් පොලිසියට පැමිණිල්ලක් දැම්මා. උදේ පාන්දර නාගොඩ පොලිස් මුරපොළෙන් කතා කරලා කිව්වා නංගි යාළු වෙලා හිටපු මල්ලි පෙති වගයක් බීලා හොස්පිටල් එකට ඇඩ්මිට් කළාය කියලා. ඒ ගමන අපි ත්‍රීවිල් එකකින්ම නාගොඩට ගියා. එතන රජිතගේ අම්මා හිටියා.නංගී යාළු වෙලා හිටපු මල්ලි කියලා තිබුණා නංගිගෙ බෙල්ල කැපුවා, දැම්ම ගියොත් බේරගන්න පුළුවන් වෙයි කියලා. අපි ඉක්මනින්ම හෝමාගම ඒ මල්ලිගේ බෝඩිමට ආවහමයි නංගිව පෙරදා රෑ ඝාතනය කරලා කියලා දැනගත්තේ. මගේ රෝස කුමාරිට ඇයි මේ වගේ දෙයක් කළේ. නංගිට වෙච්ච දේ හිතාගන්නවත් බෑ යැයි ඇහැලියගොඩ, ගැටහැත්ත, අමුපිටිය පදිංචි විජේතුංග මුදියන්සේලාගේ හිරුණි ශානිකා විජයතුංග යන අය හෝමාගම පොලිසිය හමුවේ පැවසුවාය.

හෝමාගම උසාවිය පාර පළමු පටුමඟ කුලී පදනම මත ලබා ගත් කාමරයක් තුළ ගෙල කපා මරා දමා සිටියදී හමුවූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනියක වූ විජේතුංග මුදියන්සේලාගේ අචිනි තුෂාර විජේතුංග (31) යන අයගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි ලබා දෙමින් ඝාතනයට ලක් වූ තරුණියගේ වැඩිමහල් සහෝදරිය එලෙස පවසමින් සාක්කි ලබා දෙන ලදි.

එහිදී වැඩිදුරටත් සාක්කි ලබා දුන් ඇය මෙලෙස පැවසුවාය. නංගියි මමයි විතරයි අපේ පවුලේ ඉන්නේ. නංගි ඔය රක්ෂාවට යන්න පටන් අරන් අවුරුදු තුනක් විතර ඇති. එහෙදි තමා ඔය පිරිමි ළමයත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනැඟිල තිබුණේ. එයත් නංගිලගේ අමාත්‍යාංශයේමයි වැඩ කරල තියෙන්නේ. ඒ සම්බන්ධයටත් මාස හතරක් විතර ඇති. නංගි ඒ ගැනත් අපිට කියල තිබුණා. එදා එයා පරක්කු නිසා කෝල් ගත්තත් උත්තර දුන්නේ නෑ. මගෙ නංගිට මේ වෙච්ච දේ හිතාගන්නවත් බෑ මට. අම්මටයි තාත්තටයි දැන් මම මොනවද කියන්නේ.”

අදාළ ඝාතනය සිදු වූ දෙමහල් නිවසේ පහළ මාලයේ කුලී පදනම මත සිටින කාන්තාවක් මෙසේ පැවසුවාය. ඔය ගෑනු ළමයව ඝාතනය කළා කියන පිරිමි ළමයා මේ බෝඩිමට ඇවිත් මාස එකහමාරක් විතර වෙන්නේ. අම්ම එක්ක ඉන්නවයි කියල තමා තිබුණේ. ඒ උනාට අම්මා හිටියේ දවස් කිහිපයක් විතරයි මේ කාමරේ. කා එක්කවත් කතා කරන කෙනෙක් නෙමෙයි එයා. ඔය සිද්ධිය වෙච්ච දවසේ මහ වැස්සක් තිබුණා. ගොරවනවා විදුලි කොටනවා. ඒ අතරෙදිම මුලින්ම ඒ පිරිමි ළමයගෙ අම්මා තමා ආවේ. එයා උඩු මහලට ගියාට පස්සේ ටික වේලාවකින් ඔය ගෑනු ළමයයි පිරිමි ළමයයි එනවා දැක්කා. එතකොට හයට විතර ඇති. උඩට ගිහින් විනාඩි දහයක් ගියේ නෑ අම්මා ආයෙත් එළියට යනවා දැක්කා. ඊට පස්සේ ටික වේලවෙක් ගිහින් පිරිමි ළමයාත් එළියට ගියා. ඒත් ගෑනු ළමයා එළියට යනවා දැක්කේ නෑ. මම දොරකඩ හිටියේ ඒ වෙලාවේත්. පැයක් ඇතුළත වගේ ඇවිල්ලත් ගියා ඒ දෙන්නා. මම හිතුවේ ගෑනු ළමයත් යන්න ඇති කියලයි.

උඩ කාමරයෙන් ඇඳක් එහාට මෙහාට අදිනවා වගේ සද්දයක් නම් ඇහුණා. එයාලට මේ බෝඩිමෙන් යන්න කියල තියෙන නිසා බඩු අදිනවා වෙන්න ඇති කියලත් හිතුණා.

ඔය ගෑනු ළමයා එදා තමයි පළවෙනි වතාවට මේ කාමරයට එනවා දැක්කේ. ඔය පිරිමි ළමයා උදේ පාන්දර යනවා රෑ වෙලා එනවා තමයි දකින්නේ. කතා කරන්නේ නෑ කා එක්කවත්. මේ කාමරයට කුලියට ආවට පස්සේ තුන් හතර ගමනකට වැඩිය දැකලා නෑ. හපොයි මෙහෙම අපරාධයක් වෙයි කියල හිතුවේ නෑ මෙතන.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මාසයකට පමණ පෙර අදාළ කුලී කාමරය ලබා ගෙන එහි පදිංචියට පැමිණ ඇති බවත් ස්ථිර වාසස්ථානයක් නොමැතිව කුලී පදනම මත තැනින් තැන පදිංචිව සිටින අයෙකු බවත් අදාළ කුලී කාමරයෙන් ද පිටව යන ලෙස දැනුම් දී තිබූ බැවින් කළුතර, නාගොඩ ප්‍රදේශයේ කුලී කාමරයකට පදිංචියට යාමට සිට ඇතැයි ද පොලිසිය පවසයි.

තරුණිය ඝාතනය කළ සැකකරු වේදනා නාශක පෙති තොගයක් පානය කර සියදිවි නසා ගැනීමට කටයුතු කර ඇති බවත් ඒ අවස්ථාවේදී සැකකරු රෝහල්ගත කිරීමේදී කමිසයේ තිබූ ලේ පැල්ලමක් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනය පිළිබඳව කරුණු අනාවරණය වී ඇතැයි ද හෝමාගම පොලිසියේ උසස් නිලධාරියෙකු පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි කෘෂිකර්ම අමාත්‍යාංශයේම රැකියාවේ නිරත උපාධිධාරියෙකු වන බවද හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් වන උප පොලිස් පරීක්ෂක ඩබ්.එම්. සේනාරත්න, පොලිස් සැරයන් (63497) තරංග යන නිලධාරීන් විසින් පරීක්ෂණ පැවැත් වූ අතර, හෝමාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයතිස්ස මහතා පරීක්ෂණ පැවැත්විය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x