ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ අතුරු පාලක කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් සලකා බැලීමෙන් අනතුරුවයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්රයේ පැනනැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරුණා.
එහිදී මෙම කමිටුව පත්කරනු ලැබුවේ, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කරනු ලැබීමෙන් අනතුරුව වන අතර, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රිගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම කැබිනට් අනු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ද වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
මීට අමතරව, ජනාධිපති ලේකම්වරයා විසින් නම් කරන ලද ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු, මෙම අනු කමිටුවේ ලේකම් සහ කැඳවුම්කරු ලෙස කටයුතු කරනු ලබනවා.
තවද, මෙම කමිටුවේ සාකච්ඡා සඳහා අවශ්‍ය යැයි සලකන ඕනෑම නිලධාරියෙකුගේ හෝ අදාළ ක්ෂේත්රයේ ප්‍රවීණයෙකුගේ සේවය ලබා ගැනීමට ද අමාත්‍ය මණ්ඩලය විසින් මෙම අනුකමිටුවට බලය පවරා තිබෙනවා.