නීතිවිරෝධී ලෙස මෙරටට ඇතුළුවීමට උත්සාහ කළ චීන ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන නැවතත් පිටුවහල් කිරීමට කටයුතු කර තිබේ.
අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ මෙම කාන්තාවට චීනය විසින් රටින් පිටවීමේ තහනම් නියෝගයක් පනවා ඇති බවය.
ජාත්‍යන්තර පොලීසියේ “සොරාගත් සහ නැතිවූ ගුවන් ගමන් බලපත්‍ර දත්ත” ලේඛනයේ සඳහන්ව තිබූ චීන ජාතික කාන්තාවකගේ ගුවන් බලපත්‍රයක් භාවිත කරමින් මෙම සැකකාර කාන්තාව මෙරටට පැමිණ ඇති බව අනාවරණය වී තිබේ.
වැඩිදුරටත් විමර්ශනය කිරීමේදී අනාවරණ වී ඇත්තේ මෙම චීන ජාතික කාන්තාව විසින් ඉදිරිපත් කළ ගුවන් ගමන් බලපත්‍රය 2017 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ වෙනත් චීන ජාතික කාන්තාවකට අයත් එකක් බවය.
ඇයගේ එම ගුවන් ගමන් බලපත්‍රය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී අස්ථාන ගතවී ඇති බවත්, ඉන්පසුව ඇය වෙනත් ගුවන් ගමන් බලපත්‍රයක් මෙරටින් ලබාගෙන සිය සංචාරය නිමාකර පිටවී ගොස් ඇති බවත් හෙළිවී ඇත.
එසේම ආගමන විගමන නිලධාරීන් මෙම චීන ජාතික කාන්තාවගේ අත්බෑගය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී ඇයගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රය සොයාගෙන තිබේ.
සැකාකාර චීන කාන්තාව මෙරටට පැමිණ ඇත්තේ ඊයේ (26) රාත්‍රී 09.20 ට පමණ චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් ගුවන්යානයකිනි.