බස් රියැදුරන් රිය ධාවනයේදී සිදුකරනු ලබන වැරැදි දැනුම්දීම සඳහා විශේෂ ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීමට නියමිත බව ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා පැවසීය.
ඕනෑම පුද්ගලයකුට මෙම යෙදවුම හරහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රියැදුරන් සම්බන්ධයෙන් මෙන්ම පෞද්ගලික බස් රියැදුරන් සම්බන්ධයෙන්ද ඍජුවම තොරතුරු ඉදිරිපත් කළ හැකිය. එලෙස ලබාදෙන තොරතුරු මත අදාළ රියැදුරන්ට එරෙහිව ක්රියාමාර්ග ගැනීමට නියමිතය.
එවැනි තොරතුරු මත පදනම්ව ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රියැදුරන් සම්බන්ධයෙන් එම ආයතනය හරහා ක්රියාමාර්ග ගන්නා බවත් පෞද්ගලික බස් රියැදුරන් සම්බන්ධව ලැබෙන තොරතුරු අදාළ ආයතන වෙත යොමු කරන බවත් හෙතෙම සඳහන් කළේය.
අනාරක්ෂිත රිය ධාවනය, මගීන්ට හිරිහැරයක් වන රියැදුරුගේ හෝ රිය සහයකවරයාගේ හැසිරීම් මෙන්ම බස් රියැදුරන් සිදුකරන පහරදීම් හා බහින්බස්වීම් සම්බන්ධයෙන් ද ඊට පැමිණිලි යොමුකළ හැකිය. තවද අදාළ යෙදවුම හරහා ලබාදෙන තොරතුරු ඡායාරූප ලෙස හෝ වීඩියෝපට ලෙසද යොමුකළ හැකිය.
එම තොරුතුරු අනුව වහාම ක්රියාමාර්ග ගන්නා බවත් ලැබෙන සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම ගනු ලැබූ ක්රියාමාර්ග පිළිබඳව මෙම යෙදවුම හරහා යළි දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.