රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ හා විපක්ෂයේ සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරු අතර පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද කමිටුව හමුවට, සිද්ධියට සම්බන්ධ හා සිද්ධිය ඇසින් දුටු සියලුදෙනා ලබන මස 6 වැනිදා කැඳවීමට තීරණය කර තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් එදිනම පත් කළ අතර එම කමිටුව ඊයේ (25) පළමු වතාවට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.
ඒ අනුව අදාළ කමිටුව නැවත ලබන 6 වැනිදා පෙරවරු 10.00ට රැස්වීමට නියමිත අතර අදාළ සිදුවීමට සම්බන්ධ පිරිස හා ඇසින් දුටු පිරිස කැඳවීමට එහිදී තීරණය කර ඇත.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉම්තියාස් බාකීර් මාකාර්, ගයන්ත කරුණාතිලක යන මහත්වරු කටයුතු කරති. මෙම සිදුවීමට අදාළ පාර්ලිමේන්තුවේ සීසීටීවී කැමරා දර්ශන මෙම කමිටුව මඟින් ඊයේ (25) නරඹා ඇත.
මෙම කමිටුව සඳහා ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනකු ද ඇතුළත් කිරීමට ඊයේ (25) තීරණය කර ඇති අතර එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනා නම් කරන ලෙසට ආණ්ඩු පක්ෂයට හා විරුද්ධ පක්ෂයට දැනුම් දී ඇත. ඒ අනුව අදාළ මන්ත්‍රීවරියන් දෙදෙනා ද මීළඟ විමර්ශන කමිටු රැස්වීමට සහභාගි වීමට නියමිත වේ.
ලබන 06 වැනිදා කමිටුව රැස්වීමෙන් අනතුරුව වැඩිදුරටත් විමර්ශන සිදු කිරීමෙන් පසුව විමර්ශන කමිටු වාර්තාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කියා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කමිටුවේ දැඩි අවධානයක් යොමුවී ඇති බවත් මෙවැනි සිදුවීම් පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වන නිසා මෙවැනි සිදුවීම් ඇති නොවීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බවට විමර්ශන කමිටුව ඒකමතිකව තීරණය කළ බවද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.