counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


සිය ආදරණීය පියාගේ වියෝව සිතින් දරාගෙන ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමට ජයග්‍රහණයට රැගෙන ආ පවන් රත්නායක නමැති 21 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයාගේ ධෛර්යවන්ත ඉනිම ගැන මේ වනවිට මුළු රටේම කතාබහට ලක්වී තිබේ.

සංචාරක බංග්ලාදේශ නැගී එන ක්‍රිකට් කණ්ඩායම සමග 22 වැනිදා පැවැති අවසන් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ පවන් රත්නායක පන්දු 56 කදී රැස්කළ ලකුණු 85 ක සාර්ථක ඉනිමත් සමගිනි.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම, සංචාරක බංග්ලාදේශ නැගී එන ක්‍රිකට් කණ්ඩයාම සමග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගි වී තිබේ. මෙම තරගාවලියේ අවසන් තරගය 22 වැනිදා පැවැති අතර, එහිදී ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම කඩුලු 5 ක ජයග්‍රහණයක් හිමිකරගත්තේ තරගාවලියේ ජය ද තරග 2 ට 1 ක් ලෙස හිමිකර ගනිමිනි.

එම ජයග්‍රහණයේ සතුට පසුපස තවත් කඳුළු කතාවක් සැඟවී තිබිණි. ඒ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් ලකුණු 85 ක් ලබාගත් පවන් රත්නායකට, රෝගාතුරව සිටි සිය පියාගේ වියෝව තරගය ආරම්භයට පෙර දැනගැනීමට ලැබීමය.

කෙසේ වෙතත්, ඔහු මෙම තරගයට ක්‍රීඩා කිරීමට තම හිත සවිමත් කරගත්තේ සිය කඳුළු සඟවාගෙනය. ඒ සිය පියාගේ එකම බලාපොරොත්තුව වූ තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට එනු දැකීමේ සිහිනය සැබෑ කිරීමේ අරමුණෙනි.

ඒ අනුව එම තරගයේදී පවන් අර්ධ ශතකයක් ලබාගෙන තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමෙන් පසු ඔහු සිය ආදරණීය පියාණන් හට ගෞරව දැක්වීම සඳහා දඹුල්ලේ සිට පිළියන්දල පිහිටි සිය නිවසට පැමිණි අතර, පසුව ඔහු සිය පියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතුවලින් පසු නැවතත් ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සමග එක්වීමට පිටත්ව ගියේ ඉදිරියේදී සංචාරක නැගී එන බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක සඳහා සහභාගි වීමේ අරමුණෙනි.

මෙහිදී කතා කළ පවන් රත්නායක මෙසේ පැවසීය.

“ඇත්තටම තාත්තාගේ ආශාව තිබුණේ මම කවදාහරි දවසක ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමට සෙල්ලම් කරනවා දකින එක. තාත්තා නැති වෙලා කියලා දැන දැනත් මං සෙල්ලම් කළේ අපිට දිනන්නම ඕන මැච් එකක් නිසයි. මොකද බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම එක් තරගයක් දිනලයි හිටියේ. කොහොම හරි මං මගේ රත්තරං තාත්තා වෙනුවෙන් මේ මැච් එක දිනනවා කියන සිතුවිල්ල මගේ ඔළුවේ තිබුණා. කොහොම හරි මට ඒ සිතුවිල්ල ජයගන්න ලැබුණා. මගේ හැකියාවන්, දක්ෂතාවන් තාත්තා කොහේ හරි ඉඳන් බලාගෙන ඉන්නවා ඇති.

පවන් රත්නායක කොළඹ මහානාම විදුහලේ කීර්තිමත් ආදි සිසුවකු ද වන අතර, ඔහු පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ හිඳිමින් දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයකු ද වේ.

පවන්ගේ පියා මෙලොවින් සමුගෙන ගියත් මෙවැනි ධෛර්යවන්ත ක්‍රීඩකයකු ලක්මාතාවට දායාද කරන්න ලැබීම ගැන ඔහු කොහේ සිට හෝ දකිමින් සතුටට පත්වනු නොඅනුමානය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x