2022 වසරට සාපේක්ෂව මෙම වසරේ (2023) ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියනයකින් පමණ අඩු වී ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංසදය පවසනවා.
අපනයන දත්තයන්ට අනුව මෙරට ඇඟලුම් කර්මාන්තය පසුගිය වසරේ ඩොලර් බිලියන 5.95ක ආදායමක් උපයා ඇති බවයි එම සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.
එහෙත් අමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ රටවල පවතින උද්ධමනය හා ආර්ථික අර්බුද හේතුවෙන්, ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයේ ඇති වූ පසුබෑම මෙම වසරේ ඇඟලුම් අපනයන ආදායම අඩු වීමට හේතු වූ බව ද ඔහු කළා.
මෙහිදි උප සභාපතිවරයා පෙන්වා දුන්නේ, මෙම අර්බුදය ජය ගැනීම සඳහා සාම්ප්‍රදායික වෙළෙඳපොළට අමතරව ජපානය, චීනය, ඉන්දියාව වැනි විශාල වෙළෙඳපොළ වෙත යොමුවීම වැදගත් බවයි.
ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කළ දත්තයන්ට අනුව මෙරට ග්‍රාමීය කාන්තා සේවා නියුක්තිය 34.3ක් වන අතර ඉන් කාර්මික ක්ෂේත්‍රයේ කාන්තා සේවා නියුක්තිය 27 දශම 7කි.
මෙරට ග්‍රාමීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළම සේවා නියුක්තිය ඇඟලුම් ක්ෂේත්‍රයෙන් හිමිවනවා.
ඒකාබද්ධ ඇඟලුම් සංසද දත්තයන්ට අනුව සමස්ත ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවා නියුක්තියෙන් 85%ක් කාන්තාවන් වන අතර ඉන් 80%ක්ම ග්‍රාමීය කාන්තාවන් බවයි උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.