counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ලංකාවට පාඩම් කියාදුන් නෙදර්ලන්තය

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 15වන තරගය නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (17දා) ධරම්සාලාහිදී ක්‍රියාත්මක වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හටද පාඩමක් වෙමිනි.

තරග ආරම්භයට පෙරම වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 43කට සීමා කිරීමට තීරණය විය. තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා නායක ටෙම්බා බවුමාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්තය පන්දුවාර 43 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 245ක් රැස් කිරීමට සමත් විය.

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් හමුවේ නෙදර්ලන්ත මුල් පෙළ මෙන්ම මැද පෙළ ද අසරණ වූ අතර නෙදර්ලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 82ක් තුළ බිඳ වැටුණි. කණ්ඩායමට අවශ්‍යම මොහොතේ පිටියට පිවිසි නෙදර්ලන්ත නායක ස්කොට් එඩ්වඩ්ස් විශිෂ්ට ඉනිමක් ක්‍රියාත්මක කරමින් සිය රාජකාරිය අකුරටම ඉෂ්ට කළේ, ඉකුත් තරගයේ අනර්ඝ ආරම්භක සබඳතාවකින් පසු කඩුලු එක පෙළට පූජා කළ ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන්ට වැදගත් පාඩමක් කියාදෙමිනි.

6වන කඩුල්ල සඳහා ටේජා නිදමුනුරු සමගින් ලකුණු 30ක සබඳතාවක් සහ 7වන කඩුල්ල සඳහා ලෝගන් වෑන් බීක් සමගින් ලකුණු 28ක සබඳතාවක් ඔහු ගොඩ නැගුවේය. ඉන් නොනැවතුණු එඩ්වර්ඩ්ස් සිය කඩුල්ල පූජා නොකොට රෝලොෆ් වැන්ඩර් මාර්වි සමඟ එක්ව මුළු ලකුණු 200 සීමාව ඉක්මවීමටද සමත් වූයේ 8 වන කඩුල්ල සඳහා ලකුණු 64ක සබඳතාවක්ද ගොඩ නගමිනි. ඉන් අනතුරුව ආර්යන් ඩට් සමග එක්ව නොදැවුණු ලකුණු 41ක සබඳතාවක්ද ස්කොට් එඩ්වර්ඩ්ස් ගොඩ නැගීය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ එඩ්වඩ්ස් නොදැවී ලකුණු 78ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට 4 පහර 10ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත විණි. නම් දැරූ පිතිකරුවන් අසාර්ථක වූ මොහොතක සිය නායකයා සමගින් සබඳතාවන් පිහිටවූ ආර්යන් ඩට් නොදැවී ලකුණු 23ක් සහ රෝලොෆ් වැන්ඩර් මර්ව් ලකුණු 29ක් රැස් කළේය.

පන්දු යැවීමේදී මාර්කෝ ජැන්සන්, කගීසෝ රබාඩා සහ ලුන්ගි න්ගිඩි කඩුලු 2බැගින් දවා ගැනීමට සමත් වූහ.

පත්‍රය මුද්‍රණය සඳහා යැවෙන විට ලකුණු 246ක ඉලක්කයක් හඹා යන දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 12ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 46ක් රැස් කොට තිබුණි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x