counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


කුසල් අද ඔටුනු පළඳ ඔස්ට්‍රේලියාවට එරෙහිව පිටියට

සීමිත පන්දු වාර ක්‍රිකට් තරග පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක ආබාධයකට ලක්වීම හේතුවෙන් කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව ලක්නව් හිදී අද (16 වැනිදා) තරග වැදීමට නියමිතය.

දකුණු පාදයේ මාංශ පේශීවල ඇති වූ ආබාධ තත්ත්වයක් මත නායක දසුන් ශානකට මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි සියලු තරග අහිමිව යනු ඇත.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ අද පැවැත්වෙන තරගය ද සමග ශ්‍රී ලංකාවට මූලික වටයේ ඉතිරි තරග 7 සඳහා නායකත්වය උප නායක කුසල් මෙන්ඩිස්ට පැවරෙනු ඇත.

දසුන් ගේ පුරප්පාඩව පිරවීම සඳහා අතිරේක ක්‍රීඩක චාමික කරුණාරත්න ප්‍රධාන සංචිතයට කැඳවා ඇති අතර චාමිකගේ ස්ථානය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් සංචිතයේ අතිරේක ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට කැඳවීමට නියමිතය.

මේ අතර පකිස්ථානයට එරෙහිව පැවැති අවසන් තරගයේ දී ආබාධයට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද අද තරගය සඳහා ක්‍රීඩා නොකරන අතර ඔහු වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක දුශාන් හේමන්ත කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇත.

2014 වසරේ පැවැති වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කුසල් මෙන්ඩිස් මේ වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එක් දින ජාත්‍යන්තර තරග 114 කට ක්‍රීඩා කර ඇත.

එහෙත් ඒ එක් තරගයකදීවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර නොමැති කුසල් අද එම තනතුර භාර ගන්නේ ශ්‍රී ලංකාවේ 26 වෙනි ජාත්‍යන්තර එක් දින ක්‍රිකට් නායකයා ලෙසය.

සිය පළමු ජාත්‍යන්තර තරග නායකත්වයේ දක්ෂතා දැක්වීමට පෙර මෙවර තරගාවලියේ දෙවෙනි පුහුණු තරගයේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල්ට භාර වූ අතර ඔහු එම තරගයේදී වේගවත් ශතකයක් ලැබූවද ශ්‍රී ලංකාව පරාජයට පත් වූයේය.

එසේම පසුගියදා නිමාවූ එල්පීඑල් තරගාවලියේ දඹුල්ල අවුරා කණ්ඩායමේ නායකයා ලෙස ද කුසල් කටයුතු කළේය.

මේ අතර පළමු තරග දෙකේදී දුර්වල පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා වෙනුවට අද තරගය සඳහා දිමුත් කරුණාරත්න කැඳවීමට ඉඩ ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ ක්‍රීඩා කරන තෙවැනි තරගය වන අතර පළමු තරග දෙකෙන්ම පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

ඔස්ට්‍රේලියාව ද එවැනි ඉරණමකට මුහුණ දී තිබෙන අතර ඔවුන් සහභාගි වූ පළමු තරග දෙකේදී ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්විය.

ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන අනුව කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී ශ්‍රී ලංකාව 7 වෙනි ස්ථානයේත් ඔස්ට්‍රේලියාව 9 වන ස්ථානයේත් පසු වේ.

ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරතාවය ජයග්‍රහණය කර ඇති කණ්ඩායම ලෙස නම් දරා සිටින ඔස්ට්‍රේලියාව මෙවර තරගාවලියේ තමන් වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා අද තරගයේදී විශාල වෙහෙසක් දරනු නොඅනුමානය.

කෙසේ වුවද ශ්‍රී ලංකාව පරාජයට පත් වූ තරග දෙකේදී දකුණු අප්‍රිකාවට සහ පකිස්ථානයට එරෙහිව විශිෂ්ට පිතිහරඹයක නිරත වීමට කුසල් මෙන්ඩිස් සමත් වීම ශ්‍රී ලංකාවට අමතර වාසියකි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව එක් දින ලෝක කුසලාන තරගාවලිවලදී 11 වතාවක් එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් 8 වතාවක් ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වී තිබේ.

1996 ලෝක කුසලාන අවසන් මහා තරගය ඇතුළුව ශ්‍රී ලංකාව ඉදිරියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව තවත් එක් ජයග්‍රහණයක් සටහන් වී ඇති අතර එය දැක්වෙන්නේ එම තරගාවලියේදී ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට නොපැමිණීම මත ශ්‍රී ලංකාවට හිමි වූ ජයග්‍රහණයක් ලෙසයි.

ශ්‍රී ලංකාව

කුසල් මෙන්ඩිස් (නායක), කුසල් ජනිත්, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, මතීෂ පතිරණ, ළහිරු කුමාර, දිල්ෂාන් මධුෂංක, චාමික කරුණාරත්න.

ඔස්ට්‍රේලියාව

පැට් කමින්ස් (නායක), ෂෝන් ඇබට්, මානස් ලැබුශේන්, ඇලෙක්ස් කේරි, කැමරන් ග්‍රීන්, ජොෂ් හෙසල්වුඩ්, ට්‍රැවීස් හෙඩ්, ජොෂ් ඉංග්ලිෂ්, මිචෙල් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස්, ඩේවිඩ් වෝනර් සහ ඇඩම් සම්පා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x