counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


ගින්නකින් කොන්ගොල්ලේ නිවෙසක් අළු වෙයි

හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් ඇඳිවත පමණක් ඉතිරිව සියල්ල පිලිස්සී ගිය පවුලක් පිළිබඳ තොරතුරක් ගලේවෙල, කලාවැව පාර, කොන්ගොල්ල ප්‍රදේශයෙන් පසුගිය 15 වැනි දින වාර්තා විය.

මෙලෙස නිමේෂයකින් උන්හිටිතැන් අහිමි වූ මේ පවුලට තාවකාලිකව නවාතැන්දීමට අවශ්‍ය කටයුතු සැලසීමට ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාම සේවා නිලධාරි පියවර ගෙන තිබේ.

ගලේවෙල, කලාවැව පාර, කොන්ගොල්ල ප්‍රදේශයේ පදිංචි පී. ජී. චමින්ද කුමාර, කේ. ඒ. නිසංසලා චතුරාණි කුලී වැඩ කරමින් ජීවත් වන මේ පවුලේ අඹුසැමියන්ය.

නොසිතූ මොහොතක මුහුණ දුන් මේ අවාසනාවන්ත සිදුවීම ගැන නිසංසලා මෙලෙස අදහස් දැක්වූවාය.

“මහත්තයා කුලී වැඩකට ගිහින් හිටියේ. මම පොඩි දරුවත් එක්ක පොල් ඉරටු සුද්ද කරමින් හිටියේ. එකපාරම ගේ ගිනි ගත්තා. කුස්සියේ දුම් මැස්සේ කොප්පරා ගෙඩි ටිකක් වේළෙන්න දාලා තිබුණා. එතනින් ගින්න ඇති වෙන්න ඇති.

මගේ දරුවෝ තුන්දෙනා අවුරුදු 5යි, 10යි, 12යි වයස්වල ඉන්නේ. අපි මේ ගෙදර ජීවත් වුණේ ගොඩක් අගහිඟකම් මැද. දරුවන්ගේ උප්පැන්නෙ ඉඳලා ඔක්කොම පිච්චිලා ගිහින්. අපි ඇඳගෙන ඉන්න ඇඳුම් විතරයි අපට ඉතුරු වුණේ.

මේ කරදරය වුණ වෙලාවෙ අවට අය අපට උදවු කළා. ඇඳුම් ටිකක් දුන්නා. අපට අස්වද්දන්න කුඹුරු නෑ. ඒ හින්දා ගොයම් කපපු කුඹුරුවල ඉතුරු වෙලා තිබුණ වී කරල් සති ගාණක් අහුලලා වී මිටි තුනක් එකතු කර ගත්තා. එහෙම මහන්සියෙන් එකතු කර ගත්ත වී ටිකත් ගින්නට පිච්චිලා ගියා.

දරුවෝ ඉස්කෝලෙ ගිහින් එනකොට මුළු ගේම පිච්චිලා. දරුවන්ට ඉතුරු වුණේ ඉස්කෝලෙ ඇඳන් ගිය ඇඳුම් විතරයි. අපි මේ ඉඩමේ ඉන්නේ අවුරුදු 30ක් විතර ඉඳලා. ඒත් මේ ඉඩම රජයට අයිති ඇළ රක්ෂිතයක්. ”

ගලේවෙල වැඩ බලන ප්‍රාදේශීය ලේකම්, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතාගෙන් මේ ගැන අප කළ විමසීමේදී ඔහු මෙලෙස කියා සිටියේය.

“මේ සිද්ධිය මට දැනගන්න ලැබුණු ගමන්ම ග්‍රාම නිලධාරීවරිය හරහා මේ විපතට පත් අයට ප්‍රජා ශාලාවත්, ග්‍රාම නිලධාරී කාර්යාලයත් නවාතැන් පොළක් ලෙස සකසා දුන්නා.

මේ අය පදිංචි ඉඩම ඇළ රක්ෂිතයක් නිසා රජයේ ඉඩමක් දීමට අවශ්‍ය වැඩ කටයුතු සොයා බලමින් ඉන්නවා. කවුරුන් හෝ දානපතියකු උදවු උපකාර කළොත් එම නිවෙස තනා දීමට අවශ්‍ය පියවර ගැනීමට හැකියාව තිබෙනවා. මේ පවුල අද වන විට අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටිනවා. මේ පවුලට කාගේ හෝ උදවු උපකාර වුවමනයි.”

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x