counter customizable free hit
27 C
Colombo
Tuesday, July 16, 2024


ශ්‍රී ලංකාව ප‍්‍රතිව්‍යුහගත කිරීමේදී කලාපයේ සෙසු රටවල් ගත් මඟ අනුගමනය කිරීම අපේක්ෂාවයි – ජනපති

ශ්‍රී ලංකා ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප‍්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා දැනටමත් පියවර ගනිමින් සිටින බවත් තරගකාරිත්වයට මුහුණ දෙමින් නව වෙළෙඳපොළ , විදේශ ආයෝජන සහ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවල ගමන් මඟ අනුගමනය කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ඊයේ (29) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති “ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන දිශානතිය” පිළිබඳ විද්වත් සමුළුව අමතමිනි. තිරසර සංවර්ධන සභාව විසින් මෙය සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකාව තවදුරටත් අන් රටවලට බරක් නොවිය යුතු අතර කලාපයේ සෙසු රටවල් සිදු කළ අන්දමින් පවතින සම්පත් භාවිතා කරමින් රටක් ලෙස අප තනිව නැඟී සිටීමට උත්සාහ කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේ ද පැවසීය,

තිරසර සංවර්ධනය පිළිබඳ ඉලක්ක ජය ගැනීමේ දී අප මෙතෙක් අත්කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳ මෙහිදී සඳහන් කෙරුණා. තිරසර සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමට අදාළව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් කැඳවා ඇති සාකච්ජාවට සහභාගීවන පිරිස අතර මමත් සිටිනවා. අප සියලුදෙනා පිළිගන්නා තිරසාර සංවර්ධන ඉලක්ක අප දැන් ළගා කර ගනිමින් සිටින අතර එහි ප්‍රතිඵල ද ඇගයිමට ලක් කෙරෙනවා.

නමුත් අද ලෝකය බෙහෝ ලෙස වෙනස්කම්වලට ලක්ව තිබෙනවා. තිරසාර සංවර්ධන ඉලක්කවලට අමතරව, දේශගුණික විපර්යාස පිළිබඳ පොදු ගැටලු සාකච්ඡා කිරීමට පැරිස් දේශගුණික සමුළුව සහ ග්ලාස්ගෝ සමුළුව පැවැත්වෙනවා.

ඊට අමතරව, ලොව පුරා පැතිරුණු කොවිඩ් වසංගතයේ බලපෑමට ද අපට මුහුණ දීමට සිදු වුණා. ශ්‍රී ලංකාව කොවිඩ් 19 වසංගතයේ දරුණුතම බලපෑමට ලක්වූ රටක් බව කිවයුතුයි. එමඟින් අපේ රටේ ආර්ථිකයට ප්‍රබල බලපෑමක් එල්ල වුණා. එසේම සෑම රටක්ම මෙහි බලපෑමට ලක්වු අතර ඒ නිසා ගෝලීය ආර්ථිකයේ විශාල පසුබෑමක් ඇති වු බව අප දන්නවා.

යුරෝපය දෙස අවධානය යොමු කරන විට තවමත් ඔවුන්ගේ ආර්ථිකයේ පසුබෑමක් දක්නට ලැබෙනවා. ආර්ථික කාර්ය සාධනයේ පහත වැටීමක් පැවතියත්, වාසනාවකට මෙන් ඇමරිකා එක්සත් ජනපදය අද ඔවුන් සිටි ස්ථානයේ සිට යම් වර්ධනයක් ලබමින් සිටිනවා. ඒ වගේම චීනය තවමත් යථා තත්ත්වයට පත්වීමට අසමත්ව තිබෙනවා.

ඒ අනුව බැලීමේදී ‍ ලෝක ආර්ථික වර්ධනය අඩාල වී තිබෙන අතර එමගින් ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් සිදුව තිබෙනවා.එසේ නම් තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා අප මුදල් සොයා ගන්නේ කෙසේද? සහ දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා සහ ගෝලීය මූල්‍ය ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මූල්‍ය සම්පත් සොයා ගන්නේ කෙසේද? යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. මේවා අප සාධනය කර ගත යුතු ඉලක්ක වන අතර ඒ සඳහා අප කැපවීමෙන් කටයුතු කළයුතු වෙනවා.

2030 වන විට තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සහ 2050 වන විට දේශගුණික විපර්යාස පිළිබඳ ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය න්‍යාය පත්‍රය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මෑතකදී, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සියලුම රටවල සහාය ඉල්ලා සිටියා.

මේ සියල්ල සඳහා සම්පත් සොයා ගැනීමේ හැකියාව අපට තිබිය යුතුයි. ඇතැමුන් සිතුවේ මේ සඳහා සංවර්ධිත රටවල් සතුව පවතින අරමුදල් ප්‍රමාණවත් වනු ඇති බවයි. නමුත් එම රටවල් ඒ සඳහා ඉදිරියට පැමිණියේ නැහැ. එසේම මේ වන විට ඔවුන් සතුව ඒ සඳහා සම්පත් ප්‍රමාණවත් පරිදි පවතිනු ඇතැයි මම සිතන්නේ නැහැ. ඒ පිළිබඳව ද අවධානය යොමු කරමින් මෙම මුල්‍ය සම්පත් සොයා ගැනීම පිළිබඳ සිතිය යුතුයි.

එසේම මේ සඳහා බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවලින් පමණක් නොව පෞද්ගලික අංශයෙන් ද මූල්‍ය සම්පත් සපයාගැනීම පිළිබඳව අප විශ්වාසය තබා තිබෙනවා. පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා මෙන්ම බැඳුම්කර නිකුත් කිරීමට පෞද්ගලික අංශයට අවස්ථාව සලසා දීම වැදගත් වෙනවා. නමුත් දැනට පවතින තත්ත්වය අනුව බොහෝ රටවල් සම්බන්ධයෙන් එය සාර්ථක වේවිද යන ප්‍රශ්නය මතු වෙනවා.

2019 දී තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා අපට අවශ්‍ය වුණේ දළ දේශීය නිෂ්පාදනයෙන් 9%ක් පමණ රඳවා ගැනීම පමණයි. නමුත් දැන් මේ පසුබිම යටතේම අපට දේශගුණික විපර්යාස පිළිබඳ ඉලක්ක වෙනුවෙනුත් මුදල් වෙන් කිරිමට සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකාව මුහුණ දුන් ණය අර්බුදයේ ප‍්‍රතිඵලයක් ලෙස මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප‍්‍රතිව්‍යුහගත කිරීමට අප බලාපොරොත්තු වන අතර ඒ සඳහා දැනටමත් පියවර ගනිමින් සිටිනවා. එහිදී තායිලන්තය, ඉන්දුනීසියාව, වියට්නාමය වැනි රටවල් ගමන් කළ මාර්ගය අනුගමනය කිරීමට අප අපධානය යොමු කර තිබෙන අතර එහිදී අපට ඉහළ තරඟකාරී ආර්ථිකයක් සහිත රටක් බවට පත්වීමට හැකියාව ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

අපට තවදුරටත් පෙර සිටී අන්දමින් කුඩා ආර්ථිකයක් ලෙස කටයුතු කළ නොහැකි අතර අප අපේ ආර්ථිකය පුළුල් කරගත යුතුයි. එහිදී නව තාක්ෂණික ක්‍රමවේද භාවිතා කළයුතු වෙනවා. ඒ වගේම මේ සඳහා අවශ්‍ය විදේශ ආයෝජන සහ ප්‍රාග්ධනය සපයා ගත යුතුව තිබෙනවා.

එසේම අප අනෙකුත් රටවලට බරක් නොවිය යුතුයි. අප රටක් ලෙස තවදුරටත් අන් රටවල් මතම රැදී නොසිටිය යුතුයි. අපේ රටේ දියුණුව අපම උදාකරගත යුතුයි. ලෝකයේ බොහෝ රටවල් එය සිදු කර තිබෙන අතර යුද්ධයකින් සම්පූර්ණයෙන්ම විනාශ වූ වියට්නාමය ඒ සඳහා උදාහරණයට ගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා.

අපේ රට පිහිටා තිබෙන්නේ ඉන්දියන් සාගරය සහ පැසිෆික් සාගරය අතර ප්‍රදේශයකයි. එබැවින් අපට ආර්ථික වර්ධනය උදාකර ගැනිමේ බොහෝ අවස්ථා පවතිනවා. අප සිටින නැඟෙනහිර ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ අද පුළුල් වර්ධනයක් සිදුවන බව ඔබ දකිනවා. ඉන්දියාව අද ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් සිටින අතර ඉන්දියන් සාගර කලාපය, ඉදිරියේ දී ඉහළ ආර්ථික වර්ධනයක් ඇති කලාපය බවට පත් වෙනවා.

දැන් අප සියලුදෙනාටම තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම, දේශගුණික විපර්යාස අවම කිරීම මෙන්ම ගෝලීය ණය අර්බුදය පිළිබඳ සමාලෝචනය කිරීමට කාලය උදා වී තිබෙන බව කිවයුතුයි. අප එයින් බැහැර නොවිය යුතු අතර එහිදී සාමුහිකව සහ කණ්ඩායමක් ලෙස කටයුතු කළයුතුව තිබෙනවා. ඒ සඳහා අප කණ්ඩායමක් ලෙස නව උපාය මාර්ග ඔස්සේ ඉදිරියට යාමට එක්වන ලෙස මම සියලුදෙනාට ආරාධනා කරනවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආසියා හා පැසිෆික් කලාප සදහා ආර්ථික හා සමාජ කොමසමේ දත්ත ප්‍රධානී ආර්මන් බිඩක්බර්ක් නියා (Arman Bidarbakht Nia), එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අෂුසා කුබෝටා (Azusa kuboa), එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රෙ ෆැන්චෙ (Marc-André Franche) යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වූහ. ‍

 

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x