counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


බලය බෙදීම පිළිබදව පොහොට්ටුව දෙබිඩි පිළිවෙතක ! – නිමල් ලන්සා

බලය බෙදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා සඳහන් කරයි.

නිමල් ලන්සා මන්ත්‍රීවරයා එබව සඳහන් කර ඇත්තේ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස සඳහන් වේ.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරමින් රටේ සියලු ජනතාවට පිළිගත හැකි වැඩපිළිවෙලක් සකස් කිරීමට යාමේදී ඒ සඳහා විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සදාචාරාත්මක අයිතියක් නොමැත. 13 ට එහා ගිය බලය බෙදීමේ විසඳුමකට වුවද එළඹීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මතය විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ දැනටත් අන්තර්ගත වන අතර ඒ යටතේ රටේ සියළු ජනතාවට පිළිගත හැකි බලය බෙදීමකට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සියළු දේශපාලන පක්ෂවල අදහස් ලබාගනිමින් ක්‍රියාත්මක කිරීමට යාමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් විසින් එයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරනුයේ ඔවුන්ගේ “දෙබිඩි පිළිවෙත” රට ඉදිරියේ ප්‍රදර්ශනය කරමිනි.

ස්ථාවර ආර්ථිකයක් හා ඒකීය භාවය ගොඩනැගීමට රටේ සියලු ජන කොටස් අතර සාමය හා සංහිදියාව ගොඩනැගිය යුතුයි. රටේ සියලු ජන කොටස් අතර විශ්වාසය ගොඩනැගීම සදහා සැමට පිළිගත හැකි බලය බෙදීමක් සිදු කළ යුතුයි. එමගින් සියලු ජනකොටස් මෙරට ආර්ථික සංවර්ධනය උදෙසා දායක කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එවිට සියලු ජනකොටස් අතර ශ්‍රී ලාංකික හැගීම ගොඩ නැංවෙනු ඇත. සියලු ජන කොටස් වලට පිළිගත හැකි බලය බෙදීමකින් ජාත්‍යන්තර විශ්වාසය ද ගොඩනැංවිය හැකියි.

 ඒ පිළිබඳව අවම අවබෝධයක් නොමැතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ මතයට මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හෘදසාක්ෂියට එකඟව කටයුතු කරන බහුතර මන්ත්‍රීවරුන්ගේ අදහසට බැහැර මතයක් එම පක්ෂයේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරනුයේ කුමන පදනමක සිටදැයි පැහැදිලි කළ යුතුයි.

”ජනාධිපති අපේක්ෂකයා කව්ද රටට කියන්න ”

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරනු ලබන බවට එම පක්ෂයේ සුළු පිරිසක් විවිධ අදහස් පළකර තිබෙන අතර හැකිනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි සෘජුව ඔවුන් විසින් රටට හෙළි කළ යුතුයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය සඳහා එම පක්ෂයේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවටත්, ඒ සදහා අකුරු තුනක නමක් සහිත නායකයකු ඉදිරිපත් කරන බවට විවිධ ඉඟි පළ කරමින් රටේ ජනතාව නොමග යවමින් සිටින්නේ පක්ෂය තුළ පොදු එකඟතාවයක් නොමැතිවීම හේතුවෙනි. හැකිනම් සියලු පාර්ශවයන්ගේ එකඟතාවය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ඔවුන් විසින් ප්‍රකාශ කළ යුතුයි.

රටේ ඇතිවූ අස්ථාවරත්වය මත ගොඩනැගුනු අර්බුදයන් හා රට යළි ගොඩනගමින් ආර්ථික, සමාජීය හා දේශපාලන ස්ථාවරත්වයක් උදා කරදුන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනමතයක් නොමැති සුළු පිරිසකට අදවනවිට අමතක වී තිබේ. යළි දේශපාලන කටයුතු සිදු කිරීම සදහා අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාව නිර්මාණය කරදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය අමතක කර දැමීමට එම පක්ෂයේ සුළු පිරිසක් කටයුතු කිරීම කණගාටුවට කරුණක්.

රට තුළ ඇතිවූ අස්ථාවරත්වය හා ඒ මත ගොඩනැගුනු අර්බුදයන් විසදමින් රට තුළ ස්ථාවරත්වයක් ගොඩනැගීමට හැකි එකම නායකත්වය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තෝරා ගැනීම වූයේ ද වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එවැනි තත්ත්වයක් තුළ රට තුළ ඇතිවූ ආර්ථික අර්බුදයන් විසදමින් ජාත්‍යන්තරයේද සහයෝගය ඇතිව රට යළි ගොඩනංවමින් ආර්ථික, සමාජීය හා දේශපාලනික ස්ථාවරත්වයක් ස්ථාපිත කරනු ලැබූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පිළිබදව රටේ ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගී තිබේ.

ඉදිරි දැක්මක් මෙන්ම ජාත්‍යන්තරයේද සහයෝගය ඇතිව ශ්‍රී ලංකාව යළි ගොඩනැගිය හැකි එකම හා පරිනත නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවත් ජනමතයක් නොමැති, ජනතා අභිමථාර්ථ හදුනා ගත නොහැකි සුළු පිරිසගේ මතය රටේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බව” නිමල් ලන්සා මන්ත්‍රීවරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x