counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ජනාධිපති කඳුකරයට බැල්ම හෙළයි !

සියවස් දෙකක් තිස්සේ රටට විදෙස් විනිමය උපයා දෙමින් ශ්‍රමය වැගුරූ කඳුකර ද්‍රවිඩ ජනතාව තවදුරටත් වෙනම ජනකොටසක් ලෙස නොව ශ්‍රී ලාංකික පොදුජන සමාජයට එක් කිරීමේ අභියෝගය ජයගැනීම සඳහා වන වැඩපිළිවෙලක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මෙම අවධාරණය සිදුකර සිටියේ කඳුකර දෙමළ ජනතාව නියෝජනය කරන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරවින්ද කුමාර්, එම්. රාමේශ්වරන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

කඳුකර ද්‍රවිඩ ජනතාවට අනන්‍යවූ ගැටළු මෙන්ම වර්තමානයේ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මතුව ඇති තත්වය පිළිබඳ මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකෙරිණ.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ වසර දෙසියයකට අධික කාලයක් තිස්සේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කඳුකර ද්‍රවිඩ ජනතාව කටයුතු කළ අතර අදටත් ආර්ථිකය පවත්වාගෙන යාම වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් එම ජනතාව සිදුකරන බවය.

83 සිදුවීම්වලින් පසුව පවා බෙදුම්වාදී ප්‍රවණතා හෝ අවිගත් ත්‍රස්ත කටයුතු සඳහා කිසිඳු අවස්ථාවක එම ජනතාව යොමු නොවූ බවත් ඒ වෙනුවට ඔවුන් ශ්‍රී ලංකා රජය සහ දකුණේ සමාජය පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කළ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී කඳුකර ද්‍රවිඩ ජනතාව වෙත ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාදීම සඳහා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමයේ ආරම්භ කළ වැඩසටහන අවසන් කිරීමට, ආරුමුගන් තොණ්ඩමන් අමාත්‍යවරයා සමඟ තමන් අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ 2003 ආණ්ඩු සමයේ හැකිවූ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.

එසේම කඳුකර ද්‍රවිඩ ජනතාවට ඇති ප්‍රශ්න විසඳා ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම වෙනුවෙන් සැලසුම් සහගත වැඩපිළිවෙලක් දියත් කිරීමේ අපේක්ෂාවෙන් යුතුව තමන් ඉදිරියේදී කඳුකර ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡාවක් කැඳවන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තම අපේක්ෂාව තවදුරටත් එම ජනතාව කඳුකර ද්‍රවිඩ හෝ වතු ජනතාව ලෙස ජීවත්කරවීම වෙනුවට ශ්‍රී ලාංකික පොදුජන සමාජයට එක්කරලීම බවය. මේ වන විටත් වතුකරයේ සිට කොළඹ පැමිණි යම් ප්‍රමාණයක් පොදු සමාජයට ඇතුළත්ව සිටින නමුත් සමස්ථ ජනතාවම පොදුජන සමාජයට එක්කර ගැනීමේ අභියෝගය සාර්ථක කරගැනීමේදී එම ජනතාවගේ නියෝජිතයන්ට සුවිශේෂ කාර්ය භාරයක් සිදුකිරීමේ හැකියාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x