counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


ණය ප්‍රශස්තකරණ කටයුත්තේදී පිළිගන්නේ පාර්ලිමේන්තු උපදෙස් පමණයි !- ජනපති

රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

පැරණි දේශපාලනයේ නිරතව යළි මේ රට අරාජික කිරීමට තමා ඉඩ නොදෙන බවත්, දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට භාරගත් වගකීම ඒ අයුරින්ම ඉටු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙම අදහස් පළ කළේ , ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද (04) පැවති පොල් වගාකරුවන්ගේ සංගමයේ 29 වන වාර්ෂික හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේ ද පැවසීය.

මේ රට බංකොළොත් වූ රටක්. නමුත් වත්මන් රජයට හැකියාව ලැබී තිබෙනවා මේ ප්‍රශ්න විසඳා ගනිමින් ඉදිරියට යාමට. ණය ප්‍රශස්තකරණ කටයුතු අප සිදු කරගෙන යනවා. පසුගිය දිනවල මෙරටට පැමිණි නායකයන් සමඟ මම ඒ පිළිබඳව සාකච්ඡා කළා. ණය ප්‍රශස්තකරණයෙන් පසු අපට ගෙවීමට තිබෙන ණය මුදල් නොගෙවා සිටීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහිදී සිදු වන්නේ අපට එම ණය ගෙවීමට වැඩිදුර කාලයක් ලැබීම පමණයි. එපමණක් නොවෙයි, අපට අවශ්‍ය භාණ්ඩ ආනයනයට ද ණය මුදල් ගැනීමට සිදු වෙනවා. ඉතින් එම ණය මුදල් ගෙවන මාර්ගයක් ද තිබිය යුතුයි. දැන් තිබෙන සාම්ප්‍රදායික ආර්ථිකයෙන් එය සිදු කළ නොහැකියි. ඒ නිසා අප ඉතා තරඟකාරී අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි.

නමුත් ඊට පෙර අප ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් කළයුතුයි. ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ යෝජනා ඉදිරිපත් කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙන්ම අපගේ ප්‍රධාන ණය හිමි රටවල් සමඟ ද අප ඒ පිළිබඳ සාකච්ඡා කළා. ඒ වගේම විවිධ පාර්ශව සමග සාකච්ඡා කළා. ඉන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කොමිටිය මේ පිළිබඳ සාකච්ඡා කළා. අපි පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා එය පිළිගන්නා ලෙස. ඒ සඳහා රාජ්‍ය මුදල් කොමිටියෙන් සංශෝධනයකුත් ලබා දී සියලුදෙනාම පක්ෂ බේදයකින් තොරව වැඩ කටයුතු සිදු කළා.

ඒ පිළිබඳ රාජ්‍ය මුදල් කොමිටියට මම ස්තූතිවන්ත වෙනවා. අප බලාපොරොත්තු වුණා විපක්ෂය ද ඊට සහය ලබා දෙයි කියලා. ඒත් විපක්ෂයේ පක්ෂ අතර අභ්‍යන්තරව තිබු ප්‍රශ්නයක් නිසා ඔවුන් ඊට සහයෝගය ලබා දුන්නේ නැහැ. ඇතැමුන් විරුද්ධ වුණා, තවත් පිරිසක් ඡන්දය දීමට පැමිණියේ නැහැ. ඒ ගැන අප කණගාටු වෙනවා. කෙසේ හෝ සියලුදෙනාගෙන් ලැබුණු සහයෝගය මම සිහිපත් කරනවා. අප දැන් එය සම්මත කර තිබෙනවා ඒ අනුව ණය ප්‍රශස්තකරණ කටයුතු මෙම සැප්තැම්බර්, ඔක්තෝබර් වන විට අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මේ සඳහා විපක්ෂයේ සහයෝගය නොලැබුණත් පසුව විපක්ෂයේ මන්ත්‍රීවරු සහ පක්ෂ ගණනාවක් මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට අපට සහාය වුණා. ඔවුන් ඊටවිරුද්ධව කටයතු කළේ නැහැ. අවාසනාවකට හැම කෙනෙකුගෙන්ම එම සහාය හිමි වන්නේ නැහැ.

ඇතැමුන් මෙය කඩාකප්පල් කිරීමට බලනවා. ඇතැමුන් පාරට බැස විශාල විරෝධතා ඇති කිරීමට උත්සාහ කළා. නමුත් ජනතාව එය පිළිගත්තේ නැති නිසා දැන් අධිකරණය වෙත ගොස් තහනම් නියෝග ගැනීමට උත්සාහ කරනවා. ඔවුන් බලන්නේ තමන්ගේ දේශපාලන අරමුණුවලට අධිකරණය ද යොදා ගැනීමටයි. ඒ වගේම මෙම වැඩපිළිවෙළ නැවතුණොත් විදේශ රටවල් අප සමඟ ගනුදෙණු කරන්නේ නැහැ. නැවත රට තුළ ඉන්ධන පොලිම් ඇති වෙනවා. ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නැති වෙනවා.

රාජ්‍ය මූල්‍ය පාලනය අයිති පාර්ලිමේන්තුවට. මෙම වැඩසටහන පාර්ලිමේන්තුවෙන් අනුමත කර අවසන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තිය යටතේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ලබාදී තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුව සතු බලතල සියල්ල පාර්ලිමේන්තුව ඒ ආකාරයට ක්‍රියාත්මක කරනවා. අනිත් වැඩකටයුතු අධිකරණය මගින් කළ හැකියි. ඒ අනුව මෙම මූල්‍ය කටයුතු සියල්ල සිදු වන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒ නිසා පාර්ලිමේන්තුවේ නිතිය අනුව තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ.
මේ ගෙන යන වැඩපිළිවෙළ අප නතර කරන්නේ පාර්ලිමේන්තුව දැනුම් දුන්නොත් පමණයි. නැත්නම් අප එය ඉදිරියට ගෙන යනවා. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් හැර වෙන් කිසිවෙකුගෙන් අපට උපදෙස් හෝ නියෝග ලබා ගන්න බැහැ. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්න එපා කියලා මම මේ කුඩා පක්ෂවලට කියනවා.

ඒ වගේම සියලුදෙනා එක් වෙලා මේ රට ඉදිරියට ගෙන යා යුතුයි. පැරණි දේශපාලනයෙන් මේ රට දියුණු කරන්න බැහැ. නැවත පැරණි දේශපාලනය ගෙනත් මේ රට නැති කරන්න මම ඉඩ දෙන්නේ නැහැ. මේ රට දියුණු රටක් බවට පත් කිරීමේ වගකීම මම භාරගත්තා. ඒ වගකීම මම ඉෂ්ඨ කරනවා. එම වැඩකටයුතුවලදී මම පාර්ලිමේන්තුව සමග කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ණය ප්‍රශස්තකරණයේ දී අප වගකියන්නේ පාර්ලිමේන්තුවට පමණයි. අප සියලුදෙනා එකතුවෙලා මෙම කටයුතු සාර්ථක කර ගනිමු.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x