counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


මහ සෙනඟක් මැද රනිල්ව ස්වාධීන කර රවී වැඩ අරඹයි !

​ තිදසNews :

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ  නායකත්වයෙන් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනගන බව රවී කරුණානායක  අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන්නේ ස්වාධින සහ නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයා ලෙස බවද අනාවරණය කළ රවී කරුණානායක  2024 වසරේ ජූනි මාසය වන විට ජනාධිපතිවරණයක් පවත්වන බව ද හෙළි කර සිටියේය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව පැවසුවේ කොළඹ මෝදර බොනවිස්ටා ක්‍රීඩාංගණයේ පසුගියදා පැවති උතුරු කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

එහිදී වැඩි දුරටත්අදහස් දැක්වූ ඔහු මෙසේ ද පැවසීය.

මේ කාලය අපි සියලුම දෙනාට අමාරු කාලයක් කියන්න අපි දන්නවා. ඒත් මේ ප්‍රශ්නවලට කෙළවරක් අපි සියලුම දෙනා එක්වී සෙවිය යුතුයි. කන්න-බොන්න පුලුවන්ද, ළමයින්ගේ අධ්‍යාපනය කටයුතු කරන්නේ කෙසේද වැනි ප්‍රශ්න ඔබතුමන්ලාගේ ඔළුවල කැකරේනවා.

දේශපාලනයෙන් බිල්ලෝ මවලා රටක් ඉදිරියට ගෙනියන්න බෑ. අවතාර මවලා රටක් ස්ථාවර කරන්න බෑ. රටක් සංවර්ධනය කරන්න කියන දේ අමිහිරි වුණත් ඇත්ත කතා කළා නම් එකේ සැබෑ ප්‍රතිඵලය ලැබෙන්න වැඩි කල් යන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහට වුණේ එකයි. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ රටක් හදන්න පුළුවන් තරුණ පිරිසක්. වගේම අපේ කාන්තාවන් පිරිසක් .

මේ පුංචි ශ්‍රී ලංකාව එක්සත් කර ලෝකයට ගෙන යා යුතුයි. මේක තනියෙන් කරන්න බැරි ක්‍රියාවක්. අපි සියලුම දෙනා එකට එකතු වෙලා ඒ ඒකරාශී වීම ඔස්සේ රට එක්සත් කර හරි අඩිතාලමක් දාගන්න ඕනෑ. අපි මේ රට අලුත් ගමනකට ගෙනිච්චේ නැති නම් වැඩි දවසක් යන්න මත්තෙන් ආර්ථික ප්‍රපාතයකට වැටෙනවා. අන්න ඒ නිසයි දැනට තාවකාලිකව ඉදිරියට ගියාට ආර්ථිකය හදන්න අවුරුදු ගණනාවක් යනවා කියලා කියන්නේ.

අපි 1948 වර්ෂයේ නිදහස ලබා ගෙන රට හදනවා. සංචිත ඇති කරනවා. ඒ සංචිත නැවත පාවිච්චි කරලා රට බංකොලොත් කරනවා.ඒ නිසා මේ අවස්ථාවේ මම ඔබතුමන්ලාගෙන් ඉල්ලන්නේ එක දෙයයි. සියලු දෙනා එකතු වෙන්න ඕන. සියලු භේද භින්න අත්හරින්න. ඒ ගමන අපි ගෙනියන්න ඕන රට වෙනුවෙන්. ජනතාව මුල් කොට ගෙන.

1978 ජේ ආර් ජයවර්ධන රටට අලුත් අරුතක් දුන්නා. පුංචි ශ්‍රී ලංකාව ලෝකයට එකතු කළා. එක්සත් කළා. ඒ ගමන තමයි අප යා යුත්තේ. 2022 වන විට ඒ වැටුණු රටට අද රනිල් වික්‍රමසිංහ පුනර්ජීවයක් දෙනවා. මේ සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂ නායකයෝ නොවේද..? මෙන්න මේක තමා එකම වෙනස. හැබැයි රනිල් වික්‍රමසිංහ අද ජනාධිපති වෙලා ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් නොවේ. පාර්ලිමේන්තුවේ අනික් පක්ෂවල ඡන්දයෙන් ගියපු ඒ අයගේ ඡන්දවලින්.
අන්න ඒ නිසා තමයි අපි සියලු දෙන එකට ඒකරාශී වෙලා රනිල් වික්‍රමසිංහව 2024 දී මේ රටේ ජනාධිපති ලෙස පත් කර ගත යුත්තේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ රටක් සංවර්ධනය කරන්න පුළුවන් පක්ෂයක්. 2015දී අපි රජයේ සේවකයන්ට රුපියල් 10000කින් පඩි වැඩි කරලා දුන්නා. ඒ රුපියල් 10000 පඩියටම දුන්නා. අපි පඩි වැඩි කළාට 60% ට තිබුණු අපේ ඡන්ද පදනම 4%ට අඩු වුණා.

ජනතාවට දැන් දැනිල තියනවා කරපු අපරාධයේ තරම. වැඩි ගණන්වලට තිබුණ භාණ්ඩවල මිළ අපිට පුළුවන් පමණින් අඩු කළා. ඔබලාගේ ශක්තියත් සමගින් මුල්‍ය විනයත් සමග. ඒ නිසා අපි ඔබතුමාලට කියන්නේ මේ රට හදන්න බැරි එක නොවෙයි හදන්න ඕන කමක් තියනවාද නැද්ද කියන එකයි ප්‍රශ්නය.

එවකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග තිබු පුගලික අමනාපකම් මත බැඳුම්කර ජීව උණ්ඩය පත්තු කිරීම නිසා පක්ෂය දෙදරා ගියා. ඒ හැමදෙයක්ම අන්තිමට ගියේ මගේ කර උඩින්. වැඩි කල් යන්න කලින් උසාවි ගිහිල්ලා උසාවිය සම්පුර්ණයෙන් මාව නිදොස් කොට නිදහස් කර තිබෙනවා. හැබැයි එකේ ප්‍රශ්නේ තිබුණේ මට. මගේ පවුලට. මගේ ළමයින්ට. මගේ ඡන්ද දායකයින්ට. ඒක නිවැරදි කරන්න පුලුවන්ද..? එවකට සිටි නීතිපති දැන් ඉන්නේ කොහෙද..? අපි හරියට ඉදිරියට වැඩ කරන්න ඕන නේද..?

මට අවශ්‍ය වන්නේ මේ රටක් හදන්න. ඉලක්කය කරන්න ඕන අපේ තරුණ පෙරමුණ. ඒ තරුණ පෙරමුණ තමයි අපේ අනාගතය. අපි කියනවා කර්මාන්ත ඇති කරනවා, ආයෝජන එනවා කියලා. එහෙත් ලොකුම ආයෝජනය තමයි අපේ තරුණ සම්පත. අද තාවකාලිකව ටිකක් අමාරු ජිවිතයක් ගත කළත් එන අවුරුදු 4-5 හොඳ අඩිතාලමක් අපි දමා ගත යුතුයි.

අපි නැගී සිටින්න ඕනෑ. මං කිවුවා වගේ මේ රට හදන්න බැරි එක නෙවෙයි හදන්න ඕන කමක් තියනවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නය. රනිල් වික්‍රමසිංහ භාර ගත්තේ බංකොලොත් රටක්. ඔහු පාර්ලිමේන්තුව හරහා ජනාධිපති වෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් නොවෙයි. ඒක අපි පිළිගන්න ඕනේ. අගය කරන්න ඕන. අනික් පක්ෂ එතුමාව විශ්වාස කරලා ඡන්දය දුන් නිසා අද රට හරි මාර්ගයේ යනවා නේද..? අද ඒ තනි අලියට පුළුවන් වෙලා තියනවා රට හරි මාර්ගයේ ගෙන යන්න. එක අලියෙක්ට මේ තරම් දෙයක් කරන්න පුළුවන් නම් අපි වගේ අනිත් අලි ටිකත් හිටියා නම් පෙරහැර ඉක්මනට යනවා නේද..?

අපි පුළුවන් තරම් ඉක්මන් කරලා ගමන් කරන්න අවශ්‍යි. හැබැයි ඒ ගමන සඳහා අපි පුළුල් සන්ධානයක් ඇති කරන්න අවශ්‍යයි. ඒ සන්ධානය ඔස්සේ තමයි අපි ඉදිරියට යා යුත්තේ. එහෙම තමයි අපේ රට ඉලක්ක කරා යන්නට හැකි වෙන්නේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැම දෙනාම ඒකරාශී කරන්න පුළුවන් පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ වැට්ටුවත් නැති කරන්න බැරි පක්ෂයක්. අන්න එක තමයි එක්සත් ජාතික පක්ෂයේ තියන වටිනාකම. මේ ඔක්කොම කියා ගෙන මේ බල මණ්ඩලය අද පටන් අරන් අද ඔයගොල්ල දුන්න පන්නරය මට නොවේ එක්සත් ජාතික පක්ෂයට. රනිල් වික්‍රමසිංහට. රනිල් වික්‍රමසිංහ යටතේ සියලුම දේශපාලන පක්ෂ එක්ක වැඩි කල් යන්න ඉස්සර අපි ඒකරාශී වෙමු. ඒකරාශී වෙන කොට නිර්පාක්ෂි ජනාධිපතිවරණයක් අපි ඇති කරලා පසුව පර්ල්ලිමේන්තු ඡන්දයක් හරහා වැරදුනු තැන නිවැරදි කරලා අලුත් රටක් හදන්න අපි කටයුතු කළ යුතුයි.

ඩිජිටල් කරණය සහ ගෝලිකරණය ඔස්සේ සංහිඳියාවවයි සමගිතාවයයි තුලින් මේ රට ඉදිරියට ගමන් කරන්න පුළුවන් මාර්ගයක් අපි ඇති කරන්න ඕනේ. එක තමයි අපේ ශක්තිය. දැන් විවේක කාලය අවසන්. දැන් රජයට රටක් සංවර්ධනය කරන්න සියලුම සහයෝගය දී ගෙන අපි ගමන් කරනවා. අපිට මේක කරන්න පුළුවන් හැකියාව තිබෙනවා.

{gallery}ravi-colombo{/gallery}

 

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x